භවය නැති වීමට නම්…

පසුගිය කලාපය හා සබැඳේ…

ඊට පස්‌සෙ උන්වහන්සේ දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය පෙන්නුවා. මොකක්‌ ද? තුන් ආකාරයේ ම තණ්‌හාව ඉතුරු නො කර නැති කිරීමක්‌ තියෙනව නම්, අත්හැර දැමීමක්‌ තියෙනව නම්, ගෙවා දැමීමක්‌ තියෙනව නම්, මතු නූපදවීමක්‌ තියෙනව නම්, මිදීමක්‌ තියෙනව නම් අන්න ඒකයි නිරෝධය.

මේ තුන් ආකාර තණ්‌හාව ප්‍රහීණ වෙන්න ඕන කොතන ද? නිරුද්ධ වෙන්න ඕන කොතන ද? මීට පෙර සඳහන් කරපු කාරණා හැටෙන් එක පොළක වත් තණ්‌හාව තියෙන්න බැහැ. මේ කාරණා හැටෙන් එකක්‌ වත් තණ්‌හාව ඇති වෙන්න උපකාර වෙන්නත් බැහැ. පවතින්නත් බැහැ. එයින් උපදින්නත් බැහැ.

ඔන්න ඔය විදියට දුක පෙන්නුව, දුකේ ඇති වීම පෙන්නුව (අර කාරණා 60), දුක්‌ඛ නිරෝධය පෙන්නුව, ඒ, තණ්‌හාව මේ කාරණා හැටේ නැති වෙන්න ඕන කියලා. අන්තිමට දුක්‌ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්‌ඨි.

එහෙම නම් දැන් නුවණ යෙදෙන්න ඕන පරිඤ්ඤෙය්‍ය වෙන්න (පිරිසිඳ දකින්න) ඕන මොකක්‌ ද? මෙන්න මේ කාරණා හැට. ඔන්න ඔය කාරණා හැට ම පිරිසිඳ දකින්න ඕන. ඒ පිරිසිඳ දකින නියායක්‌ තමයි මේ සතිපට්‌ඨානයේ ධම්මානුපස්‌සනාව.

දැන් අපි වෙන වෙන ම ගොඩවල් හයේ ඒව දහයක්‌ නෙ ඉගෙන ගත්තෙ. ප්‍රතිපදාවෙ දි, අර්ථය දකිද්දි නුවණින් වෙන වෙන ම දකින්න ඕන. ආධ්‍යාත්මික ආයතන හයෙන් ඇහැ ගන්නව. බාහිර ආයතන හයෙන් රූපය ගන්නව. විඤ්ඤාණ හයෙන් චක්‌ඛු විඤ්ඤාණය ගන්නව. ස්‌පර්ශ හයෙන් චක්‌ඛු සම්පස්‌සය ගන්නව. වේදනා හයෙන් චක්‌ඛු සම්පස්‌සජා වේදනාව ගන්නව. රූප සංඥාව, රූප සංෙච්තනාව, රූප තණ්‌හාව, රූප විතක්‌ක, රූප විචාර.

දැන් හොඳට දැන ගන්න ඕන ඇහැත් රූපයත් චක්‌ඛු විඤ්ඤාණයත් යන තුන් දෙනා ගෙ එකතුවට කියනව ස්‌පර්ශය. යමක්‌ ස්‌පර්ශ වේ නම් එය විඳිනව. යමක්‌ විඳියි නම් එය හඳුනනව. යමක්‌ හඳුනයි නම් එය කල්පනා කරනව. යමක්‌ කල්පනා කරයි නම් එය ප්‍රපංච වෙනව, තණ්‌හාව ඇති වෙනව. ඒ තණ්‌හාව මුල් කාරණාව කරගෙන ඒ ධර්මයො සිතින් සිහි කරනව, සිතින් හොයනව.

යම් වස්‌තුවක්‌ දැකල ඒකට කැමැත්තෙන් බැඳිල ඒක හිතින් සිහි කරල ඒක හිතින් හොයනව කියන සිද්ධිය නිර්මාණය වෙන හැටි තමයි මේ පෙන්නන්නෙ. අපි යමකට කැමැති වෙනකොට ඔය කාරණා හැට ම තියෙනව. ඇහැ මුල් කාරණාව කරගෙන කාරණා දහයක්‌ ම තියෙනව. සද්දයක්‌ අහල ඒකට කැමැති වෙන කොට කන මුල් කාරණාව කරගෙන ඒ දහයෙ ම බැඳිල තියෙනව.

ඇහැට පෙනෙන දේට ඔබ කැමැතියි කියන කොට මේ කාරණා දහයෙ ම ඒ මොහොතෙ දි තණ්‌හාව යෙදිල තියෙනව කියල දකින්න. කනට ඇහෙන සද්දයකට තණ්‌හා කරන කොට ඒ සද්දයට විතරක්‌ නෙමෙයි තණ්‌හා කළේ. ඒ සද්දය උපදවන්න ඒ එක්‌ක ම යෙදිල තියෙන කාරණා දහයක්‌ තියෙනව.

අනෙක්‌ අතට ඇහැට පෙනෙන රූපය විරාග ස්‌වභාවයට පමුණුවන්න විරාග ස්‌වභාවයට අනුව බලන්න උත්සාහවත් වෙන කොට රූපයට විතරක්‌ නෙමෙයි ඒ එක්‌ක යෙදිල තියෙන කාරණා දහයට ම විරාගයි කියල දකින්න.

පෙනෙන රූපයේ විතරක්‌ අනිත්‍ය දුක්‌ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරනව නම් මේ කාරණා දහයෙ ම අනිත්‍ය හැටියට, දුක්‌ හැටියට, අනාත්ම හැටියට දකිනව. ඒ කාරණා දහයෙ ම තණ්‌හාව නෑ. ඒකෙ ප්‍රතිඵලය තමයි දැකපු දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙනවා කියන එක සාක්‌ෂාත් වීම. එතකොට භවය නෑ. නිමිති හිටින්නෙ නෑ. ඒ විදියට දකින දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙනවා ය කියන එකේ එළඹ සිටියොත් තමයි භවය නැති වෙන්නෙ. දැකපු දේ තියෙනවා ය කියන මතකය හිටින්නෙ නැහැ. එහෙම වුණොත් තමයි මරණාසන්න මොහොතෙ යන්න එකක්‌ නැති වෙන්නෙ.

භවය නැති වෙන්න නම් උපාදානය නැති වෙන්න ඕන. ඒ කියන්නේ දැකපු දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙන්න ඕන. දැකපු දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙන්න නම් පෙනෙන දේ අනිත්‍ය දෙයක්‌, දුක්‌ දෙයක්‌, අනාත්ම දෙයක්‌ කියල පෙනෙන්න ඕන. පෙනෙනව කියන තැන දි අසිහිය නැහැ. අනිත්‍ය දෙයක්‌ දුක්‌ දෙයක්‌ අනාත්ම දෙයක්‌ කියල පෙනෙන දේ පෙනෙන්න නම් පෙනෙන දේ තුළ ඇත්ත අපි දකින්න ඕන.

මේකෙ දි තව කාරණාවක්‌ තමයි අපිට පුළුවන් නම් එක කාරණාවක්‌ දකින්න. මේ පංච උපාදානස්‌කන්ධ ලෝකය කියන එක. මම කෙටියෙන් කියන්නම්. හැම වෙලාවෙ ම අපි හැම කෙනෙක්‌ ම ඉන්නෙ ඇහැත් රූපයත් අතරෙ. කනත් සද්දයත් අතරෙ. අපිට යම් වෙලාවක දි ඇහැත් රූපයත් දෙන්න ම එක පැත්තකට දාලා එයින් අහකට යන්න පුළුවන් වුණොත් තමයි අපි ලෝකෝත්තර කියන්නෙ. පුළුවන් වෙයි ද එහෙම?

ඒ කියන්නෙ මෙන්න මෙහෙම ධර්මතාවක්‌ තියෙන්නෙ. මේ ඇහෙන් යම් රූපයක්‌ අපි බලනකොට අපිට රූප පෙනෙන්නෙ බාහිර රූප තියෙන හින්ද ම නෙමෙයි. බාහිර තියෙන්නෙ ක්‌ෂුද්‍රdෂ්ටක කියල රූප කලාප වශයෙන්. එහෙම තියෙන තැනක කර්මයට හැදුණු මේ ඇහේ හැකියාව තමයි මේ වගේ සටහනක්‌ පෙන්නන එක.

හරියට උපමාවකින් කියනව නම් නිල් පාට වීදුරුවකින් බාහිර සුදු පාට යමක්‌ බැලුවොත්? අපිට පෙනෙන්නෙ නිල් පාට රූප. ඒ බාහිර නිල්පාට රූප තියෙනවට නෙමෙයි. අපි බලන වීදුරුවෙ හැටි තමයි මෙහෙම පෙන්නන එක. මේ ඇහැට එපිටින් තියෙන වස්‌තූන් පෙන්නන්නෙ බලන්න වෙන්නෙ මේ ඇහැ හරහා. හිතෙන් තමයි අපි මේ ලෝකය බලන්නේ. හිත ඇහැටත් ඔබ්බෙන් තියෙන්නෙ.

ඇහැ උපකාරයක්‌ විතරයි බාහිර අරමුණු එක්‌ක සම්බන්ධ වෙන්න. බාහිර අරමුණු එක්‌ක සම්බන්ධ වෙන්න කන උපකාරයක්‌. කෙටියෙන් එක දෙයක්‌ මතක්‌ කරනව. අපි හිතාගෙන ඉන්නෙ තියෙන දේ ම පෙනෙනව, පෙනෙන දේ ම තියෙනව කියල. නමුත් ඇත්ත තමයි පවතින දේ අපිට පෙනෙන්නෙ නැහැ. අපිට පෙනෙන දේ පවතිනව නෙමෙයි.

නිල් පාට වීදුරුවකින් අපි බලනකොට පවතින්නෙ සුදු පාට. පෙනෙන්නෙ නිල් පාට. පවතින දේ පෙනෙන්නෙ නැහැ. පෙනෙන දේ පවතිනව නෙමෙයි. මේ වීදුරුවෙ හැටි එහෙමයි.

මිරි`ගුව දිහා මේ ඇහින් බලන කොට ජලය තියෙනව වගේ පෙන්නයි. තියෙන්නෙ මිරි`ගුව. පෙනෙන්නෙ ජලය. පෙනෙන දේ තියෙනව නෙමෙයි. තියෙන දේ පෙනෙනව නෙමෙයි. මෙන්න මේ ස්‌වභාවය යම් දවසක දි දැක්‌කොත් තේරුම් කරගත්තොත් මේ ආධ්‍යාත්මික සවිඥානක කයෙත් බාහිර සියලු නිමිතිවලත් අහංකාර, මමිංකාර, මානානුසය සම්පූර්ණයෙන් ම නැති වෙනව.

අන්න එදාටයි දැකපු දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙනව, අහපු දේ ඇහීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙනව කියන තැනකට පත් වෙන්නෙ. එහෙම පත් වුණොත් අනිමිත්ත බව එළඹ සිටිනව. භවය නැති වෙනව. මේ නාම රූප දෙක පිරිසිඳ දැකල තණ්‌හාව නැති වෙන තැනට අපිව අරගෙන යන්න තියෙන ගමන් ම`ග තමයි මේ සතිපට්‌ඨාන සූත්‍රය.

හඳ ගැන ඕන තරම් අපිට අහන්න පුළුවන්. හඳේ ආවාට තියෙනව, මේ මේ දේවල් තියෙනව කියල කියන්න පුළුවන්. නමුත් අපි කාට වත් හැබැහින් දකින්න පුළුවන් ද? යන්න පුළුවන් ද? යන්න ක්‍රමයක්‌ නෑ. වාහන නෑ.

අන්න ඒ වගේ දුකත් සමුදයත් නිරෝධයත් ගැන අහන්න පුළුවන්. දැනගන්න පුළුවන්. නමුත් යන්න තියෙන වාහනය වගෙයි මේ සතර සතිපට්‌ඨානය. කොච්චර දැනගත්තත් එතනට යන්න බැරි නම් වැඩක්‌ තියෙනව ද? ඒ වගේ සමුදය දුරු කරල නිරෝධය සාක්‌ෂාත් කරගන්න යන්න කියෙන ම`ග සතිපට්‌ඨාන සූත්‍රය. ඒ නිසයි එක ම ම`ගයි කියල බුදුරජාණන්වහන්සෙ දේශනා කළේ. මොකට ද? සත්ත්වයන් ගේ පිරිසිදු බව ඇති කරන්න. ඒ වගේ ම ඇ`ඩීම්, දුක්‌ දොම්නස්‌ නැති කරන්න. සෝක කිරීම්, වැළපීම් ඉක්‌මවන්න. මාර්ගඵල ලබන්න ඔය කාරණාවල් ළ`ගා කරගන්න තියෙන එක ම ම`ග. මේ මාර්ගය වඩමින් යනවා නම් ඒ කෙනා ඒකාන්තයෙන් දුකින් මිදෙනව.

ඒ නිසා හැම දෙනා ම බොහෝ ම ආදරයෙන් ජීවිතය කරගෙන මේ දහම වඩාගන්නට ඕන. පිංවතුනි, මේ දීර්ඝ සංසාරයේ අපි හැම කෙනෙක්‌ ම බොහෝ කල් ආවා. ඒ මේ අත බොහෝ සැරිසැරුව, දිව්වා. අපිව බේරගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. තමාට පිහිට තමාමයි. වෙන කාගෙ වත් පිහිටක්‌ නෑ.

ලොව්තුරා බුදුරජානන්වහන්සෙ ජීවමාන ව වැඩ ඉන්නවා වගේ මේ ධර්මය තියෙනව. අප්‍රමාදීව මේ ධර්මය ජීවිතයට ළං කරගෙන මේ ජීවිතයේ දී ම මේ ජරා මරණ දුකින් එතෙර වන්නට ඕන කියල එක ම හිතෙන් මේ දහමෙ ආදරයෙන් හැසිරෙන්න යොදාගන්න.

සසරෙ දි ඕන තරම් ගෙවල් හදන්න ඇති, දරුවො හදන්න ඇති, යානවාහන ගන්න ඇති. ඒ වුණාට එක ජීවිතයක දි වත් අපිට දුකින් මිදෙන්න බැරි වුණා. බුද්ධොත්පාද කාලයත් තියෙන, මනුෂ්‍ය උත්පත්තියත් තියෙන මේ එක ම එක ජීවිත කාලෙ විතරක්‌ ශාසනේට පූජා කරන්න. ඕනෙ නම් පහු කාලෙ දි ආපහු ගෙවල් හදන්න. දරුවො හදාගන්න. මේ ජීවිතේ දි විතරක්‌ බලන්න. එපමණකින් ම දුකින් මිදෙයි.

ඉතින් මේ පිංවතුන්ට මේ දුක්‌ සහගත සසරින් එතෙර වෙලා උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න යම් පමණකින් හෝ මේ අවබෝධය හේතු උපනිශ්‍රය ම වේ වා කියන කළණ අදහස්‌ ඇති ව, කළණ සිත් ඇති ව මගේ මේ දේශනාව අවසන් කරනව.

අද කාලයේ මාර්ගඵල දුරස්‌ වීමට හේතුව පටිච්ච සමුප්පාදය අර්ථ විවරණය කරගැනීමේ දී සිදු ව ඇති අඩුපාඩුවක්‌ ද?

මාන්කඩවල සුදස්‌සන හිමියන් විසින් මෑතක දී පවත්වන ලද පටිච්ච සමුප්පාදය පිළිබඳ විශේෂ විවරණයක්‌ සහිත ධර්ම දේශනාවක්‌ ලබන සතියේ සිට බුදුමඟ තුළින් බලාපොරොත්තු වන්න.

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි